Skip to main content

යසිත්ගේ විස්මලන්තය

හුඟ කාලෙකින් කෙල්ලව හම්බ උනේ.නිදහසේ කතා කරන්න වෙලාවක් ඇත්තෙම නෑ..බීච් ගියොත් පොලිසියෙන් අල්ලන නිසා ලඟ තිබුන රක්ෂිත අභය භූමියට රිංගුව. ආරක්ෂාවටත් හොදයිනෙ.. ඉතින් මෙහෙම ටික වෙලාවක් කෙල්ලගෙ හුරතල් බල බල ඉන්න කොට අපි ඉන්න තැනට පැන පැන ආවනෙ පුළුන් වගේ සුදු හාවෙක්. ඌව දැක්ක විතරයි කෙල්ල මැරෙන්න හදනව ඌ හුරතල් කරන්න අල්ලල දෙන්න කියල. ඇයි අප්ප මෙච්චර හුරතල් මම ඉඳලත් මොකටද කැලෑ සත්තු. අනේ මංද වෙලාවකට මේ ගෑණුන්ටත් ඕන නැති මඟුලක් නෑ. මොනව කරන්නද කුරුමානම අල්ලල පැන්න හාවගෙ ඇඟ උඩටම. මොන, කටේ වැලි පිරුන එක විතරයි. ඒ මදිවට කෙල්ල හිනා වෙනව නෝන්ඩියට. මොන කොල්ලද කැමති බඳින්න කලින් කෙල්ල ඉස්සරහ නෝන්ඩි කන්න. අනික මේ ඇටිකිත්තං හාවෙක්ට. මමත් නැගිට්ට ගමන් 'ඔහෙ හිටු ඔහෙ හිටු' කියල හාවගෙ පස්සෙ පැන්නුව. මොන,හාවත් හුරේ රන් එකක් දෙනව නැට්ට උස්සන්. වැඩි දුරක් යන්න උනේ නෑ. හාව එක පාරටම කොහේ ගියාද මංදා. මං ආපහු එන්න හැරෙනකොටම 'බරාස්' ගාල වලකට ඇදන් වැටුන. වෙලාවට කොන්ද කැඩුනෙ නෑ. නැගිටල වට පිට බලද්දි මෙන්න තියෙනව උමඟක් වගේ මඟුලක්. ඒකෙ කෙලවර එලියත් පේනව. ඒ කියන්නෙ අනිව මේකෙන් එලියට යන්න පුළුවන්.

මම උමඟෙන් එලියට ආව. ඒත් හරි මුස්පේන්තු පාටයි. හැම තැනම අමුතුයි. ටික දුරක් යනකොට මෙන්න ගලක් උඩට නැඟල දළඹුවෙක් කෑ ගහනව.

"අම්මේ,තාත්තේ , ආච්චී,සීයේ අපි විජාතිකයො යටත් කර ගන්න ඕන. අපි හඳේ ගෙවල් හදන්න ඕන උන්ට කලින්. අපි අමුඩෙ ගහල අපේ විරෝධය පෙන්වන්න ඕන. කැහැ..කැහැ"

උගුර යටින් කෑ ගහපු පාර පොරට කැස්සත් හැදුනා. කෑ හැහුවට මොකද එක මනුස්සයෙක්වත් පේන්න නෑ.අනික මූ දළඹුවෙක්නෙ, ඒ මදිවට කතාත් කරනව. වෙන මනුස්ස පුළුටක් නැති නිසා මම බයෙන් බයෙන් කිට්ටු කරා.

"මේ උන්නැහේ"

නෝ රිප්ලයි..

"මේ දළඹුවෝ"

ම්හු..

"යකෝ, බූරුවෝ.."

ඔන්න ඒ පාර නම් මං දිහා බැළුව.. මගේ ඔලුවෙ ඉදන් යටි පතුලටයි,යට ඉඳන් උඩටයි දෙතුන් පාරක් බැළුව.

"-තමුසෙ විජාතික බලවේගයක් නේද ? තමුසෙ මේ ප්‍රජාතත්‍රවාදී දේශය ගැන ඔත්තු බලන්න නේද ආවෙ ? "

"නෑ... දළඹු අය්යෙ.. මං මේ අතරමං වෙලා . මට ආපහු යන්න පාර කියනවද ? "

මූ බකමූණ වගේ බලං ඉන්නව විතරයි. මුකුත් කියන්නෑ.

"- මේ කොහෙද ? මං ලංකාවෙ මෙහෙම තැනක් ගැන අහල නෑ "

"ලංකාව කියන්නෙ මොකක්ද ? "

මූ මොන පිස්සු යකෙක්ද.. ඕන කෙහෙල්මලක් කියල මං තනියම ඉස්සරහට ආව. ටික දුරක් එනකොට පාරෙ මැද්දෙ තඩි මේසයක්. කෑම ජාති පුරවලා. මට හොඳටම බඩගිනියි. මේසෙ එහා කෙලවරේ කවුද ඉන්නව. මම කිට්ටු කරල බැළුව.

"හා මල්ලි එන්න එන්න වාඩි වෙන්න. ඕන තරම් කන්න"

වයසක පොරක් කියපි.

"අංකල්, දන්සලක්ද ? "

"පිස්සුද ඕයි.. මම තමයි මෙහේ හැමෝටම ටියුශන් දෙන්නෙ"

"- එහෙනම් මේ කෑම මේසයක් තියන් මොනව කරනවද ? "

"බල්ලගෙ වැඩේ බූරුව කරත් එකයි,බූරුවගෙ වැඩේ බල්ල කරත් එකයි.. උඹ කට වහගෙන කාපන්"

මං තවත් මුකුත් නොකියා අතට අහු උන හැම දේම කාගෙන කාගෙන ගියා..

"-මාර වියදමක් යන්න ඇති නේද අංකල් ? "

"පිස්සුද මල්ලි, මගේ පඩිය 50,000/- යි. මෙහේ එකෙක්ට මාසයක් ආතල් එකේ ඉන්න යන්නෙ 2,500/- යි. ඉතිං මට මොකටද ඔච්චර සල්ලි. ඒවයින් ඉතිං සමාජ සේවය තමයි"

"-ෂා මරුනේ.....ඇත්තටම මේ කොහෙද අංකල් ? "

"මේද... මේ ඇවිල්ලා ඒක පුද්ගල ආදායම විෂම ගුණනය වෙලා, අනුකලනයෙන් බෙදල, සාමාජීය භූ විෂමතාවයෙන් සංසේචනය කරාම ඇතිවෙන හායිත ප්‍රදේශය තුල  පිහිටම මධ්‍ය රික්තයෙන් නිලීන ආර්ථික රටාව තියෙන..................."

පොරගෙ පිස්සුව තද වෙන්න කලින් හිමින් ලිස්සල ආව.. වැඩි දුරක් එන්න හම්බ උනේ නෑ. මෙන්න කැහැටු පොරක් ඉන්නව කොල ඔටුන්නක් දාගෙන. පුටුවක වාඩි වෙලා. මිනිහගෙන්වත් මේ කොහෙද කියල අහගන්න හිතාගෙන ලඟට හියා..

"එන්න එපා ගහනවා..කුඩු වෙන්න ගහනවා..තෝ මගේ පුටුවට විදින්න නේද ආවෙ ? අම්මප ගහනවා.."

පොර තඩි කලු ගලක් උස්ස ගත්ත..වැඩිය එතන ඉන්න එක හොඳ නැති නිසා මාරු උනා...ඔය වෙලාවෙ තමයි මගේ ෆෝන් එක රිං උනේ.. අම්මප මට මේක තිබුන කියල අමතක උනානෙ..මං ෆෝන් එක අතට ගන්න කොටම,

"හෝල්ට්... බිම දිගා වෙලා ඔලුවෙන් හිට හන්නවා, නැත්නම් වෙඩි තියනවා"

අමුතු යුනිෆෝම් එකක් ඇඳපු පොරක්.. මෙහේ පොලිසියද දන්නෑ..එහෙම උනොත් ආපහු යන්න පාර අහ ගන්න පුළුවන්. මං හිමින් ඔළුව ඉස්සුව.

"කිව්වනෙ බොට.. වෙඩි තියනවා.."

පොර කැටපෝලෙට ගල් කැටයක් තියල ලෝඩ් කරා.. එතකොටම සුදු පාට කරත්තයක් ඇවිත් නැවැත්තුව. මං හිතන්නත් කලින් මාව ඒකට පටවන් ගියා.

"උඹ කවුද ? "

එකෙ හිටපු පොරක් මගෙන් ඇහුව.

"-අනේ මං අතරමං වෙලා..මට උදවු කරන්න."

"එහෙම කොහොමද ? අපිත් ටාගට් කවර් කරන්න එපැයි. දැන් යමන් අපේ රජතුමා ගාවට.. මචං දාපන් මූට හෙරොයින් කිලෝ එකක් එක්ක අහු උනා කියල"

අනෙ අම්මෝ, මොකක්ද මේ සිද්ධ වෙන්නෙ.. මටත් දැං පිස්සු වගේ..මගේ ඇස් බැඳල මාලිගාවට අරන් ආව. රජතුමයි ඇමතිවරුයි ඈනුම් යව යව ඉන්නව. මගේ නඩුව දෙවනියට. එතකොට මුලින් කවුද ?

"රජතුමනි මෙන්න අර මිනීමරුව අපි අල්ල ගත්තා"

සෙබළු කළු තඩි වළහෙක් ගෙනාව.. ටක් ගාල එක ඇමතියෙක් මැදට පැන්න.

"රජතුමනි රජතුමනි, මූ අපේ එකෙක්"

"ම්හු.. එහෙමද අත ඇරල දානව. මූ අපේ ප්‍රධාන ආරක්ෂකය කරනව"

ඌ නම් නිදහස්.. ඊ ළඟට මම..

"මට නිල සංචාරයක් තියෙනව.. ඉතිරිව මසී විසඳයි... මසී මසී...සී සී "

එතකොටම තඩි පූසෙක් ආව.. එක අතක කඩුවක්.. ඌ කුණුහර්ප කිය කිය අනිත් අය හිනස්සනව.. මාර ජොලි පූසා..

"බොස් කුඩු කිලෝ එකක් එක්ක මාට්ටු"

සෙබළු මාව ඉස්සරහට තල්ලු කරා.. මාව බයේ වෙව්ලනව. කටේ කෙලත් හිඳිල"

"කුඩු ටික මෙහෙ දීපන්. මූව කිඹුලට කන්න ගඟට දාපිය.. මියෑවු..මියේව් "

"- අනේ බුදු අම්මෝ එපා.. මං වරදක් කරේ නෑ.. අනේ එපා "

ම කෑ ගැහුව...

"මොකෝ මූසලයො, තෝ හීනත් බලනවද"

'චටාස්' ගාල  කොටා මගේ කනට ගැහුව.. කෙමෙස්ට්‍රි සර් නිදි කිර කිර උගන්නනව.. වටේ උන් මං දිහා බලං හිනා වෙනව....


Comments

  1. පැන ආවනෙ පුළුන් වගේ සුදු හාවෙක්

    කොහෙද යකෝ කැලේ සුදු හාවෝ

    ReplyDelete
    Replies
    1. =)) ඉතිං කොයින්ද බං කැලේ කතා කරන දළඹුවෝ. පූසෝ.

      Delete
  2. පූසගෙ පැටිය නම් ළඟදි ගුටි කෑවනෙ :x

    ReplyDelete

Post a Comment

◘ සිංහල අක්ෂර භාවිතා කිරීමට : වම්පස පහල "සිංහල" බොත්තම click කරන්න.
◘ Photo comment දැමීමට : [im]http://1.bp.blogspot.com/-jk5ApMyd4VM/UnkD_bWnI9I/AAAAAAAACAQ/gedRQoN9cmQ/s1600/image.png[/im]
♥ පෞද්ගලික පණිවිඩ සඳහා : info@yasith.net